(0) මෘදුකාංග නිදහස් දිනය අද යි!

software freedom dayඅද මෘදුකාංග නිදහස් දිනය යි! සමහරු සිංහලෙන් මේකට නිදහස් මෘදුකාංග දිනය කියලත් කියනවා. ලොව වටා නිදහස් මෘදුකාංග ලෝලියෝ, ක්‍රියාධරයෝ අද දිනය විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින්, සම්මන්ත්‍රන පවත්වමින්, ස්ථාපන උලෙල පවත්වමින් සමරනවා; නිදහස් මෘදුකාංග පිලිබඳ දැනුවත්භාවය වැඩි කරන්න වෙහෙසෙනවා. කාලයක් තිස්සේ නිදහස් මෘදුකාංග භාවිත කරද්දී, අන් අයට හඳුන්වා දෙන්න කතාබස් කරද්දී, ඒ ගැන ලියද්දී මතු වුනු විවිධ ගැටලු හා අවධානය යොමු විය යුතු  ය යි හැඟෙන විවිධ පැති අලලා බ්ලොග් සටහන් පෙලක් ලියන්න මම කල්පනා කලා. එවැනි වැඩක් අරඹන්න අදට වඩා හොඳ දිනයක් තියෙනව ද?

මෙහි මූලික අරමුන දිනකට එක බැගින් සටහන් 31ක් අදින් ඇරඹෙන මාසය තිස්සේ පල කිරීම යි. සමහර විට ඊට වැඩියෙන් ලියැවුනොත් අමතර ලිපිත් පල වේවි. ඊට අඩුවෙන් ලිවීමේ නිදහසත් මම මට ම දීගන්නවා! ඒ වගේ ම තමයි මෙහි ලියැවෙන සටහන් විධිමත් සංස්කරනයකට ලක් වෙන්නෙ නෑ. හිතේ පැලවෙලා ඔලුවේ ලියලලා අවසිහියෙන් පොරොවෙන් යතුරු ලිව්වා වගේ   වැඩි වේලා නොයවා මේ පිටු මතට සම්ප්‍රාප්ත වෙනවා. මෙවැනි සටහන් පෙලක් ලිවීමේ අවශ්‍යතාව දැඩි ව දැනුනු නිසා ලියන්න ගත්තා මිස මේ විශය පිලිබඳ පෘථුල දැනුමක්, අවබෝධයක් හා සන්නිවේදන හැකියාවක් ඇති නිසා මේ වැඩේට අතගැහුවා නෙමෙයි. ඒ නිසා ලිපි පෙල වඩා හොඳින් සංස්කරනය කිරීම මෙය කියවන ඔබේත් උදව් ඇතුව (දුවන ගමන්) කරන්නයි මගේ අදහස. මෙහි පල වෙන දෙයක අඩුපාඩුවක්, නොපැහැදිලි යමක් දුටුවෙත් එසැනින් ප්‍රතිචාර තීරුවෙන් හෝ Contact පිටුවෙන් දන්වා එවන්න. යම් කරුනක් වඩා හොඳින් පැහැදිලි කල හැකි ආකාරයක් ඇතොත් එයත් ලියන්න. වෙනත් වචනවලින් කියතොත් මේක නිදහස් හා විවෘත ආකෘතියකින් යුතු ව කරන්න යන ලිවීමක්.

ඔබ කියවන මේ බ්ලොග් අඩෙවිය බලගැන්වී ඇත්තේත් නිදහස් මෘදුකාංගයක් වන WordPress මගින්. එය ධාවනය වෙන්නේ තවත් නිදහස් මෘදුකාංග ගනනාවක් යොදාගෙන සැකසුනු සර්වරයක් මත. සමස්ත අන්තර්ජාලයෙන් වැඩි කොටසක් ඉතා සුරක්ශිත වත් ශක්තිමත් ලෙසත් පවත්වාගෙන යන්නේත් නිදහස් මෘදුකාංගවල පිහිටෙන් තමයි. ඔබට පෙනෙන නොපෙනෙන තවත් බොහෝ තැන්වල, ඔබේ දුරකථනයේ පවා ඇතැම් විට නිදහස් මෘදුකාංග තියෙනවා වෙන්න පුලුවන්. ඉතින් හැම තැන ම තියෙන දෙයක් ගැන මේ තරම් ලියන්න තියෙන අවශ්‍යතාව මොකක් ද කියලත් කෙනෙක් අහන්න බැරි නෑ. ඒ ප්‍රශ්නයටත් යම් ආකාරයක පිලිතුරක් මීලඟ ලිපියෙන් දෙන්න මම අදහස් කරනවා.

එතෙක් මෙය කියැවූ සැමට සුබ මෘදුකාංග නිදහස් දිනයක් වේවා!

Advertisements