(2) මෘදුකාංග නිදහස යනු කුමක් ද?

මෘදුකාංග නිදහසේ පැති හතරක් තියෙනවා:

  • මෘදුකාංගයක් ඕනෑ ම කාර්යයක් සඳහා භාවිතයට ගැනීම සඳහා තිබෙන අසීමිත නිදහස.
  • එම මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමටත් එය වෙනස් කිරීමටත් තිබෙන නිදහස
  • එම මෘදුකාංගය පිටපත් කොට බෙදාහැරීමේ නිදහස
  • එම මෘදුකාංගයේ වෙනස් කරනු ලැබූ පිටපත් බෙදාහැරීමේ නිදහස

මෘදුකාංගයක් භාවිත කරන කෙනෙක් මේ පැති හතර ම එක වර අනිවාර්යයෙන් ම භුක්ති විඳිය යුතු බවක් එයින් අදහස් වෙන්නේ නෑ. ඒත් යම් මෘදුකාංගයක් නිදහස් මෘදුකාංගයක් වෙන්න නම් නිදහසට අයත් මේ පැති හතර ම ඒ සමග පරිශීලකයාට ලැබිය යුතු යි. එසේ වූ විට අවශ්‍යතාව පැන නැඟුන වහා විශේශ අවසර ගැනීමකින්, බලපත්‍රයක් ලබාගැනීමකින්, ගිවිසුමකට එකඟ වීමෙන් තොර ව එම නිදහස භුක්ති විඳීමේ හැකියාව තියෙනවා.

නිදහස් මෘදුකාංගයක් නිපදවා පරිශීලකයන් වෙත නිකුත් කිරීම යන්නෙන් අදහස් වන්නේ එය ස්ථාපනය කිරීමට ක්‍රමයක් (එනම් ස්ථාපකයක් – ඉන්ස්ටෝලරයක් හා බයිනරියක්) පමනක් සහිත ව නිකුත් කිරීම නෙමෙයි. එහි මූල කේතය හෙවත් සෝස් කෝඩ් එක (source code) ද ප්‍රසිද්ධියට පත් කල යුතු යි. ඉහත දැක්වෙන දෙවැනි නිදහස භුක්ති විඳින්න ලැබෙන්නේ එමගිනුයි. එයින් අදාල මෘදුකාංගය සාදා තිබෙන ආකාරයත් ක්‍රියාත්මක වන ආකාරයත් පිරිසිඳ දැගනැනීමේ ඉඩ සැමට විවර වෙනවා.

සමහර විට මෘදුකාංගය පාවිච්චි කරන හැමෝට ම එය සාදා තිබෙන ආකාරය පිරික්සා බැලීමේ දැනුම නැති වෙන්න පුලුවන්. ඒත් එය දන්නා අයකු ලවා කරවාගැනීමේ නිදහස තියෙනවා. ඉංග්‍රීසියෙන් Free Software යනුවෙන් හඳුන්වන්නේ නිදහස් මෘදුකාංග යි. එයින් අදහස් වන්නේ ඒවා නොමිලේ ලැබෙන බව නොවෙයි. නොමිලේ ලැබුනු පමනින් මෘදුකාංගයක් නිදහස් වන්නේ නෑ. යමක් නිදහස් මෘදුකාංගයක් බව ප්‍රකාශ වෙනවා නම් එයින් අදහස් වන්නේ එම මෘදුකාංගය සම්බන්ධයෙන් ඉහත දැක්වූ මෘදුකාංග නිදහස (software freedom) තිබෙන බව යි.

වැඩිදුර කියැවීම සඳහා
* මෘදුකාංග නිදහස ගැන – What is software freedom?
* නිදහස් මෘදුකාංග යනු කුමක් ද? What is free software?

Advertisements

(1) නිදහස් මෘදුකාංග පිළිබඳ කතාබහ යලි ඇරඹීමේ අවශ්‍යතාව

මෙය මෘදුකාංග නිදහස, නිදහස් මෘදුකාංග, ප්‍රකාශන නිදහස, අන්තර්ජාලය තුල පුද්ගලිකත්වය (privacy) හා ආරක්ශාව යනාදී එකිනෙකට අන්තර්-සම්බන්ධිත මාතෘකා පිළිබඳ සිංහල භාශාවෙන් සාකච්ඡා කිරීමට ආරම්භ කෙරුනු ප්‍රකාශනයක්, නිදහස් අවකාශක් හැටියට හඳුන්වන්න මම කැමති යි. ඒ නිසා මේ මාතෘකා දේශපාලනික ස්වභාවයක් අත්පත් කරගන්නවා. බ්ලොග් අඩෙවියේ උපසිරස තුල සංස්කෘතිය සහ දේශපාලනය යන පද දෙක යොදා ඇත්තේ එබැවිනුයි. දෛනික ජීවිතයේ වගකීම්, වැඩකටයුතු, කාලය හා අවකාශය පිලිබඳ සීමා මධ්‍යයේ ලියැවෙන මේ බ්ලොග් අඩෙවිය නොවිධිමත් සටහන් පෙලක් වසයෙන් හැඳින්වීම සාධාරන යි. තත්වය එසේ වුව ද ඉහත මාතෘකා ගැන නොලියා සිටීමට වඩා හැකි මොන යම් ම හෝ ආකාරයකින් ලිවීම අද දවසේ ඉමහත් අදාලත්වයක් උසුලන බව මම විශ්වාස කරනවා. සටහන් පෙල විසිරි ස්වභාවයක් ගන්න ඉඩ තිබුනත් ඉහත කී මාතෘකා යා කරමින් ලියැවෙන නිසා ඒවා අතර අර්ථවත් සම්බන්ධයක් ඇති වෙතැයි මම අපේක්ශා කරනවා.

සිංහල බසින් ඉහත විශයයන් පිලිබඳ අදහස් පල වන්නේ ඉතා අල්ප වසයෙන් බව මගේ හැඟීම යි. නිදහස් මෘදුකාංග පිළිබඳ යම් මට්ටමකින් හෝ අතීතයේ පැවැති පුරෝගාමී සාකච්ඡා ක්‍රමක්‍රමයෙන් “ලිනක්ස්” පිලිබඳ සාකච්ඡා බවටත්, අනතුරු ව ඇන්ඩ්‍රොයිඩ් හා “ඕපන් සෝස්” පිලිබඳ සාකච්ඡා බවටත් පරිනාමය වී, නිදහස පිලිබඳ අදහස යටපත් ව තත්කාර්යවාදී, නැතහොත් ඊනියා ප්‍රායෝගිකත්වය පිලිබඳ සීමාව තුල හිර වූ බව ද මම කල්පනා කරනවා. අවසානයේ එම සාකච්ඡා අවකාශය ලිනක්ස් මත සිංහල ස්ථාපනය කරගන්නා අන්දම කියාදීම හෝ කිසියම් මෘදුකාංගයක් භාවිත කරන අන්දම, එසේත් නැතහොත් මෘදුකාංග දේශීයකරනය වැනි උපදෙස්/වැඩමුලු වැනි දෑ තුලට හැකිලි ගිය අතර අද FOSS ප්‍රජාව ලෙස දන්නා පිරිස අතර මෘදුකාංග නිදහස පිළිබඳ ගැඹුරු ඒත්තුගැනීමකින් යුතු ව වැඩ කරන අය සොයාගැනීම කලුනික සෙවීම තරම් ම දුශ්කර දෙයක් බවට පත් ව තියෙනවා. බොහෝ දෙනා ඉතා සැහැල්ලුවට free software සහ open source සංකල්ප කලවමේ භාවිත කරන අතර, ඇන්ඩ්‍රොයිඩ් වැනි නව ප්‍රවණතා හමුවේ ද උබුන්ටු වැනි මෘදුකාංග නිදහස පිලිබඳ අදහස්වල සැර බාල කල හෝ ඒවා පාවා දුන් ව්‍යාපෘතිවල ජනප්‍රියතාව මධ්‍යයේ ද ඉතා සැහැල්ලු පැවැත්මකින් සෑහීමකට පත් වී වී ඉන්නවා. “ලිනක්ස් ස්ථාපන උපදෙස්” හෝ හඳුන්වා දීමේ වැඩමුලු බහුතරයක් අවසන් වෙන්නේ වින්ඩෝස් මත ධාවනය වන නිදහස් නොවන මෘදුකාංග මෙහි ද භාවිත කල හැකි බව අඳුන්වා දී අලුත් පරිශීලකයින්ගේ “බිය සැක” නැති කිරීමෙන්. “ලිනක්ස් ස්ථාපනය” කල වහා ම නිදහස් නොවන කොඩෙක්ස් දමා Facebook වීඩියෝ නැරඹීමේ (නො)නිදහස ලබා දෙන්නත්, නිදහස් නොවන බහුමාධ්‍ය භාවිතය “ලිනක්ස් මත ද කල හැකි බව” පෙන්වා දෙන්නත් අප මිතුරන් අමතක කරන්නේ නෑ. ඒත් නිදහස් මෘදුකාංග කතිකාව තුල මුල පටන් ම පැවති හා ක්‍රමානුකූල ව වර්ධනය වූ ඉහත සඳහන් කල දේශපාලනික හා ආචාරධාර්මික පැතිකඩ ගැන වචනයක් වත් නොකියන තරම්. කීවත් ඉතා ද්විතියික කරුනක් හැටියට විතර යි. එවැනි තත්වයක් තුල මෘදුකාංග නිදහස එහි පුළුල්තම අරුතින් යලි සාකච්ඡාවට ගැනීම ඉමහත් වැදගත්කමකින් යුතු කරුනක් හැටියට මම දකිනවා.

2013 ජූනි මාසයේ පටන් විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත වෙමින් පවතින එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව්කිරීම්වලින් පසු මේ මාතෘකා සාකච්ඡාවට ගැනීමේ වැදගත්කම පෙර නො වූ විරූ මට්ටමකින් සනාථ ද අවධාරිත ව ද ඇති බැව් පැවසීම අතිශයෝක්තියක් නෙමෙයි. දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට, ජනමාධ්‍යවේදීන්ට, බ්ලොග්කරුවන්ට, පර්යේශකයින්ට, ලේඛකයින්ට, කලාකරුවන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, සිසුසිසුවියන්ට, පුස්තකාලවලට, සෞඛ්‍ය ක්ශේත්‍රයට, ප්‍රවාහනයට යනාදී වසයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට හා ජන ජීවිතයේ සෑම පැතිකඩකට ම මෘදුකාංග නිදහස දැවෙන අවශ්‍යතාවක් බව එමගින් තහවුරු වුනා. මේ ලිපි පෙලට ආවේශය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය එය යි. මා මෙතෙක් භාවිත කල පද අතර ඔබට නුහුරු නුපුරුදු ව්‍යවහාරයන් හා නොපැහැදිලි වචන තිබේ නම් දැනට ඒ ගැන නොතකා හැර මීලඟ ලිපිය එන තුරු රැඳී ඉන්නා මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. මීට අදාල සංකල්ප හා අදහස් හැකිතාක් නිරවුල් ව ක්‍රමක්‍රමයෙන් ඔබ අබියස දිගහැරෙනු ඇතැයි මම අපේක්ශා කරනවා. අප සාකච්ඡා කිරීමට යන්නේ ඔබට, මට සහ පොදුවේ සමාජයට ම මඟහල නොහැකි ලෙස අදාල වන විය ක්ශේත්‍රයක් පිලිබඳ ව යි. එය එක් අතකින් දේශපාලනික යි, අනිත් අතින් තාක්ශනික යි. සමස්තයක් ලෙස වර්තමාන ගෝලීය ආර්ථිකයට ද සම්බන්ධිත එය අවසාන විග්‍රහයේ දී අපේ සමාජීය හා සංස්කෘතික ජීවිතය මත බලගතු අධිකාරයක් ද උසුලනවා. එනිසා ඉවසීමෙන් (සහ අනලස් ව) සාකච්ඡාව අරඹමු!

වැඩිදුර කියැවීම සඳහා
ඕර්වෙලියානු ඩිස්ටෝපියාවක් තුල මෘදුකාංග නිදහස, සංස්කෘතිය සහ දේශපාලනය