මෘදුකාංගයක් ඕනෑ ම කාර්යයක් සඳහා භාවිතයට ගැනීමේ අසීමිත නිදහස, මෘදුකාංග නිදහසේ අතිශය වැදගත් පැතිකඩක්. කොටින් ම මේ පැතිකඩ අපේ ප්රකාශන නිදහසටත් සම්බන්ධ යි. මා භාවිත කරන මේ WordPress මෘදුකාංගය මේ බ්ලොග් අඩෙවිය ඔස්සේ මගේ අදහස් ඔබ වෙත ගෙන එන්න වාහනයක් හැටියට ක්රියාත්මක වෙනවා. මා දරන ඕනෑ ම අදහසක් ප්රතිරෝධය නොදක්වා, වාරනය නොකර පල කිරීම සඳහා මේ මෘදුකාංගය මට නිදහස ලබා දී තිබෙනවා. මෘදුකාංගය නිපදවන අය එකඟ වන හෝ නොවන ඕනෑ ම දෙයක් ඕනෑ ම ආකාරයකින් පල කිරීමේ නිදහස ඊට ඇතුලත්. ඒ නිසා මෘදුකාංගය භාවිතයට මට ලැබී ඇති මේ නිදහස අසීමිත යි!
ඇත්ත, මා භාවිත කරන wordpress.com මත එවැනි අසීමිත නිදහසක් මට ලබා දී නැති බව ඔබ කියන්න ඉඩ තියෙනවා. ඒත් මට WordPress මගේ ම සර්වරයක ස්ථාපනය කරගෙන ඒ නිදහස අසීමිත ව භුක්ති විඳින්න අවකාශ තියෙනවා. අනිත් අතට මා ලියන දෙයක් නිසා මට වෙනත් බාධක, නඩුහබ වැටීම් යනාදිය පැන නැඟෙන්න පුලුවන් වුනත් ඒ කාරනා මෘදුකාංග නිදහසට අයිති නෑ. ඔබ ෆැසිස්ට්වාදියෙක් වුනත්, ධනවාදියෙක් වුනත්, සමාජවාදියෙක් වුනත්, මොන යම් ම හෝ ආගමිකයෙක් හෝ අනාගමිකයෙක් වුනත් එය නොතකා ඔබට මෘදුකාංග නිදහස හිමි විය යුතු යි. ඒ ඒ අදහස් ප්රචාරය කරන්න, සාකච්ඡා කරන්න නිදහස් මෘදුකාංග අපක්ශපාතී ව, උපේක්ශා සහගත වේදිකාවක් සම්පාදනය කරනවා.
අප ස්ථාපනය කරගන්නා මෘදුකාංගයකින් ගත හැකි වැඩ පිලිබඳ සීමාවක් පනවා තිබේ නම් එතන මෘදුකාංග නිදහස නැහැ. සමහර මෘදුකාංග එම මෘදුකාංගය හෝ එය නිපදවූ සමාගම විවේචනය කිරීම සඳහා යොදාගැනීමේ ඉඩකඩ නැහැ. එවැනි වැඩකට එය යොදාගනු ලැබුවොත් එම මෘදුකාංගය භාවිතය සඳහා ඔබට ලැබී තිබෙන බලය (බලපත්රයෙන් ලැබෙන හැකියාව) අවසන් කිරීමේ අයිතිය එය නිපදවූ උදවිය සතු යි. තවත් සමහර මෘදුකාංග භාවිත කල හැක්කේ යම් යම් නීතිමය සීමාවන්ට යටත් ව පමන යි. මේ සියල්ල නිදහස් මෘදුකාංග ගනයට වැටෙන්නේ නෑ.
මේ නිදහස තනි පුද්ගලයින්ගේ යහපත පිනිස වැදගත් වෙනවා වගේ ම, ඊට නොදෙවෙනි ලෙස සමාජ සුබසිද්ධියටත් වැදගත්. නිදහස් මෘදුකාංග සියලු ආකාරයේ සමාජ භාවිතාවන්ට වාහනයක් මිස ඒවා පාලනය කරන යාන්ත්රනයක් වන්නේ නෑ.
මෘදුකාංගයක් ස්ථාපනය කල පසු අප එය භාවිත කරන අන්දම පාලනය කිරීම සඳහා නිදහස් නොවන මෘදුකාංග නිර්මාපකයෝ විවිධ උපක්රම යොදාගන්නවා. මෙයින් අතිබහුතරයක් රහසින් ඔත්තු බැලීමේ ගනයට දැමිය හැකි ක්රියාමාර්ග. විද්යුත් පොත් හෙවත් ඊපොත් කියවන්න යොදාගන්නා ඊ රීඩර් තුල තියෙන මෘදුකාංග මීට නිදසුනක්. එම මෘදුකාංග නිදහස් නොවනවා විතරක් නෙමෙයි අප කියවන පොත්පත් නිදහස් ද නැද්ද යන්න ගැනත් ඔත්තු බැලීමේ යෙදෙනවා.